පොහොට්ටුවේ රැස්වීම ආණ්ඩුවේ ඇමතිවරු පස් දෙනෙකුගේ වැඩක්.. ජනපති කිපෙයි..

හම්බන්තොට පොහොට්ටු රැස්වීම කලේ රාජ්‍ය ඇමතිවරු පහක් විසින් වීම මේ වනවිට එජාප – පොහොට්ටු දීගය නැත්තට නැති කරන්නට තරම් ප්‍රභල වී ඇති බව ජනාධිපති පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට කැබිනට් ඇමතිවරුන්ද සහභාගී වීම මේ තත්ත්වය තවත් තීව්‍ර කරන්නට සමත් වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ඉකුත් සතියේ ඉතා දැඩිව ප්‍රකාශ කර තිබෙන්නේ, රජය නියෝජනය කරන කිසිදු අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ‍රාජ්‍ය ආයතනවල වගකීම් දරන කිසිදු පුද්ගලයෙකු මෙම රැස්වීමට සහභාගී නොවිය යුතු බවත්, එසේ සහභාගි වීම රජයේ සාමූහික වගකීමට ඉතා දැඩිව පටහැනි කාරණාවක් බවයි.

කෙසේ වෙතත් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම පසුපස සිටියේ පොහොට්ටුව නියෝජනය කරන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් බව, රාජ්‍ය බුද්ධි අංශ විසින් සැල කිරීමත් සමඟම ජනපතිගේ පාර්ශ්වය ඉතා දැඩි විරෝධතා එල්ල කරමින් සිටී. මෙහි පෙරමුණ ගෙන සිටින හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන්, මේ පිළිබද තම විරුද්ධත්වට ජනපති හමු වී සෘජුවම ඉදිරිපත් කර ඇත. ඒ සමඟම ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ධනුෂ්ක රාමනායක විසින්, පොහොට්ටු රැස්වීමට විරුද්ධව ඉතා දැඩි සමාජ මාධ්‍ය ප්‍රචාරණයක්ද ආරම්භ කර ඇති බව සැලයි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක විසින් මෙම රැස්වීමේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇති අතර, සෙනග රැස් කිරීම වෙනුවෙන් පුරා සති දෙකක් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන හතර භාරව ක්‍රියාකර ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා, පලාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදාණපතිරණ යන රාජ්‍ය අමාත්‍යවරුන් බව මේ වනවිට හෙලි වී ඇත.

ඒ වගේම පවිත්‍රා වන්නිආරච්චි, කාන්චන විජේසේකර වැනි කැබිනට් අමාත්‍යවරුන් සහභාගී වීමද විශේෂත්වයක්. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, කනක හේරත්, ශාන්ත බණ්ඩාර ආදී රාජ්‍ය අමාත්‍යවරුන්ද මේ වෙනුවෙන් සහභාගී වීම අද වන විට දැවැන්ත විවාදාත්මක මාතෘකාවක් වී තිබේ.

සාගලගේ නියෝගය පිණිස නාගරික සංවර්ධන සහ නිවාස කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් තමා නායකත්වය දරන ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට සහ තමා අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකුට එම රැස්වීමට සහභාගී වීම තහනම් කරන ලදී. නමුත් එම නියෝගය නොසලකා ඔහුගේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ එම රැස්වීමට සහභාගී වුනා පමණක් නොව හම්බන්තොට ආසනය පුරා ගෙන් ගෙට යමින්, ජනතාව දැනුවත් කරමින් කටයුතු කරන්නටද ක්‍රියා කර තිබිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද, සිය දිස්ත්‍රික් නායක ප්‍රසන්නගේ නියෝගය නොතකමින්, තංගල්ල ආසනය භාරව ගෙන් ගෙට යමින් ජන්තාව හමු වී, එම රැස්වීම සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දී තිබේ. තම දිස්ත්‍රික් නායකයාගේ නියෝග නොතැකූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිලාන් ජයතිලක ද තංගල්ලේ තිබූ පොහොට්ටු රැස්වීමට සහබාගී වී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා කර ඇත.

ඒ වගේම දිස්ත්‍රික් සම්භන්ධීකරණ කමිටු වල සභාපතිත්වයන් දරන සමන්ප්‍රිය හේරත්, නාලක කෝට්ටෙගොඩ, ඩබ්ලියු ඩී වීරසිංහ, සම්පත් අතුකෝරල, නිපුණ රණවක, ප්‍රේමනාත් දොලවත්ත, වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම රැස්වීමට සහභාගී වීම, මෙම ගැටළුව තව දුරටත් විවාදාත්මක මාතෘකාවක් බවට පත් කිරීමට සමත් වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සාගල රත්නායක විසින් මෙම පොහොට්ටු රැස්වීම පොහොට්ටු මන්ත්‍රීවරුන් 15කට සීමා කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථව ඇත්තේ, ඒ වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් 55ක් සහභාගී වීම නිසායි. ඊට අමතරව පසු ගියදා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමද රැස්වීම් භූමියට නොගොස්, කාල්ටන් මන්දිරයේ රැදී සිටි බවද වැඩි දුරටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් මෙම රැස්වීම පිළිබඳව සඳහන් කරන්නේ, මෙම ජන රැලිය පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ ජනපතිගේ හිටපු කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතර ගල උඩ සටනක් බවත්, එහි ජයග්‍රහණය නාමල් රාජපක්ෂ විසින් උදුරා ගෙන තිබෙන බවත් ය.

කෙසේ වුවත්, මෙම අභ්‍යන්තර ගැටුම් නිසා අලි – පොහොට්ටු දීගය අවසන් වීමට ආසන්න බවත්, ඉතා නුදුරේදීම රටේ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වූ මැතිවරණයක් ලැබෙන බවත් ඉතා පැහැදිලිව කිව යුතුව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top