ජනපති සටනින් ජනපති ඉවතට. පොහොට්ටුවේ අපේක්ෂකත්වයට නම් තුනක්. සජිත් සහ අනුර ස්ථිරයි

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ජනපති ධූරයට ඉදිරිපත් නොවන බව, අප කියා සිටියේ 2024 මාර්තු 14 දිනදීය. “මම ඉල්ලුවේ නැතත් කැම්පේන් එක කරන්න” යනුවෙන් හරීන් ප්‍රනාන්දුට සැල කල බව අප එම පුවතේ සඳහන් කල බව ඔබට මතක ඇති.

කෙසේ වුවත්, එම පුවත සත්‍ය බව අප ඔබට නොවලහා නැවතත් ප්‍රකාශ කරමු. රනිල් වික්‍රමසිංහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව දන්න ප්‍රසන්න රණතුංග, නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හේත්තු වී වැඩ කටයුතු කිරීම මීට ප්‍රබලම උදාහරණයකි.

පසුගිය සතියේ බදාදා, එක්සත් ජාතික පක්ෂයේ තමනට හිතවත්ම නිලධාරීන් මුණ ගැසුන, රනිල් වික්‍රමසිංහ මහතා, සිය තීරණය ඔවුන්ට දැනුම් දී තිබේ. නමුත් එම පිරිස රනිල්ගේ තීරණයට එක හෙලාම විරුද්ධ වී ඇති අතර, ඔවුන් කියා තිබෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ සමගි ජන බලවේගයේ ඕනෑම කොන්දේසියකට යටත්ව, ජනපති අපේක්ෂකත්වය ලබා ගත යුතු බවයි. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සාකච්ඡා කිරීමේ වගකීම හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමති වරුන් භාරගත් අතර, සමගි ජන බලවේගය හා සාකච්ඡා කිරීමේ වගකීම වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ විසින් බාරගෙන තිබේ. ඊට විරුද්ධ වූ ජනපතිවරයා, ඒ පක්ෂ දෙකෙන් කුමන පක්ෂයෙන් තරඟ වැදුනාත් ජයග්‍රහණය කිරීමට නොහැකි බව විශ්ලේෂණාත්මකව පැහැදිලි කර දී තිබේ. එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා ඇත්තේ ජනපතිවරණය වසර දෙකකින් කල් දමා, පක්ෂය ප්‍රති සංවිධානය කර ඉන් පසුව ජනපතිවරණය පවත්වමු කියා බව වාර්තා වේ. ඊට පිළිතුරු ලෙස ජනපති රනිල් ඊට දැඩිව විරුද්ධ වූ බවත්, “අයිසේ, මෝඩ කතා නොකියා, කට වහා ගන්නවා” ලෙසින්, රංගේ බණ්ඩාරට පවසා තිබේ. නමුත් කට වහ නොගත් රංගේ, පසුගිය සතියේදී එම අදහස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නට කටයුතු කල නමුත්, ඊට මුලු රට වටෙන්ම ආවේ අයහපත් ප්‍රතිචාර වේ. ඒ නිසා දැන් පාලිත රංගේ බණ්ඩාර, ජනපති මඟ හරිමින් සිටින බව වැඩි දුරටත් අප වෙත වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන්, රනිල් හිතැති මන්ත්‍රීවරුන්ගේ රහසිගත රැස්වීමක් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා මහින්දානන්ද අළුත්ගමගේ, නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, සීතා අරඹේපොල වැනි මන්ත්‍රීවරුන් 16ක් සහභාගී වී සිටි බව වාර්තා වේ. ප්‍රසන්නට අනෙක් මන්ත්‍රීවරුන් කොන්දේසියක් පනවා තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට එනවාද නැද්ද යන්න පිළිබඳව සෘජු ප්‍රකාශයක් ලබා දුන්නාට පසු, රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවයි. එම ප්‍රකාශය ලබා ගැනීමේ කාර්‍යය, ඇමති ප්‍රසන්නටත්, මන්ත්‍රී මහින්දානන්දටත් පැවරිණ. නමුත් මේ සඳහා රනිල් වික්‍රමසිංහගෙන් සෘජු පිළිතුරක් නොලද බැවින්, වහාම ක්‍රියාත්මක වූ මහින්දානන්ද තම හිතවත් මාධ්‍යවේදීන් හරහා එම රහසිගත රැස්වීමේ සිදු වූ සියල්ල අනාවරණය කර තිබේ. රැස්වීමට ආපු අනෙක් මන්ත්‍රීවරුන්, මහින්දානන්ද සිය අරමුණ පාවා දුන් බවත්, එසේ කලේ බැසිල් රාජපක්ෂගෙන් ලකුණු දා ගැනීමට බවත් ඡෝදනා කරමින් සිටී.

කෙසේ වෙතත්, ජනපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවතින බව දිගින් දිගටම නිරීක්ෂණය වේ. මේ වනවිට ඉදිරි ජනපතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන්නේ සජිත් ප්‍රේමදාස බව මේ වනවිට ස්ථිරව ප්‍රකාශ කර ඇත. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස, අනුර කුමාර දිසානායක මේ වනවිට ස්ථිර වී ඇති නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කිරීමට නියමිත එක් නමක්, ජනපති අපේක්ෂකයා වුවහොත්, ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට ඉඩක් ඇති බව, ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහි සම්පූර්ණ විස්තරය පහතින් සටහන් වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට අපේක්ෂකයින් දෙදෙනෙක් සූදානම් කර ඇත. ඒ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නීතීඥ නාමල් රාජපක්ෂ සහ ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරායි. ඊට අමතරව ව්‍යාපාරික දිලිත් ජයවීරද කෙසේ හෝ පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින්, දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක නිරත වෙන බව පෙනෙන්නට තිබේ. නමුත් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලබා ගැනීමට නොහැකි වන බවත්, පක්ෂයේ පසු පෙල මන්ත්‍රී වරුන්ගෙන් ඊට විරුද්ධ මතයක් ප්‍රභලව නැගෙන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කර සිටී.

මේ අතර, දිලිත් ජයවීර විසින්, පොදුජන පෙරමුණ හා සම්භන්ධ, දැනට විපක්ෂයට වී සිටින මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට දැවැන්ත ලෙස සල්ලි මලු විසි කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවත් වාර්තා වේ. පසුගියදා නව සංධානයක් ක්‍රියාත්මක කිරීමේදී, ඊට එකතු වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට රුපියල් මිලියන 400ක් සහ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලට රුපියල් මිලියන 250ක් ත්‍යාග ලෙස ලබා දී තිබේ. ඒ වගේම මෙම මුදල් සන්තෝසම් ලබා ගත් පිරිසට ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, වාසුදේව නානායක්කාර, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන්ද ඇතුලත් බව අප වෙත වාර්තා වේ. තවත් මන්ත්‍රීවරුන් නව දෙනෙක් වෙත මෙම මුදල් සන්තෝසම් ලබා දී ඇති බව වාර්තා වුවත්, ඔවුන්ගේ නම් අප වෙත නිශ්චිතව වාර්තා වී නොමැති බැවින්, එම නම් අප වෙත ලැබුණ සැණින් ඔබ වෙත වාර්තා කිරීමට කටයුතු කරන බව පාඨක ඔබට දන්වමු.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද තම මැතිවරණ ව්‍යාපාරය අරඹා ඇත්තේ, සිය පෞද්ගලික මුදලින් ඇරඹූ “ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්” ව්‍යාපෘතිය හරහාය. දැවැන්ත මුදල් සම්භාරයක් යොදවමින්, දිස්ත්‍රික් ගණනේ දැවැන්ත උත්සව සංවිධානය කරමින් ඔහු ගමින් ගමට යමින් සිටී.

නාමල් රාජපක්ෂ මහතාද, පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස ගමින් ගමට යමින්, ආසන බල මණ්ඩල සංවිධනය කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ කටයුතුවල යෙදී සිටී.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා නම් කිරීමේ කාර්‍යය සිදු කරන්නේ, මැතිවරණය ප්‍රකාශ කිරීමේ නිවේදනයෙන් පසු බවත්, එම කාලයේදී, ජයග්‍රහණය කිරීමට වැඩියෙන්ම හැකියාව තිබෙන අපේක්ෂකයා, ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට, පක්ෂය කටයුතු කරන බවත්, එහි විධායක සභාව තීරණය කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙවන් තීරණාත්මක තොරතුරු, ලද සැණින්, එසැණින් ඔබ වෙත ගෙන ඒමට අපි ඉදිරියටත් කටයුතු කරන බව සතුටින් දන්වා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top